සැකයක් නෑ අපි සේරම ඉක්මනින්ම පමා වේවි...

'සතක් අතුපතර' - ගී පද විවරණය

වන වදුලේ සෙනෙහසට පිටු පෑ අදමිටුවන්ගේ පාපෝච්චාරණය


ගායනය : විශාරද උපුලි උඩුගම්සුරිය
ගී පද : ගයා රම්‍යා අල්විස්
සංගීතය : සමන් ලෙනින්
ශබ්ද පරිපාලනය හා පටිගතකිරීම : මිරාන් තරිඳු / සුසර ස්ටූඩියෝ මහරගම


සතක් අතුපතර සලසන හීල් සෙවනෙ වාඩිවෙන්න
වසක් විසක් නැති අහසක් යට සුවසේ හුස්ම ගන්න
පසක් වෙයි මෙතෙක් කළ පව් වනස්පතිය සමාවෙන්න
ගසක් කැපූ තැනින් ගලන ගසක කඳුළු හඳුනගන්න

වපුල යකඩ සිමෙන්තියෙන් දියුණුවේ අස්වනු නෙලන්න
මහල මහල ඉහළ ගිහින් තව්තිසාව ලඟට ගන්න
විපුල මහා ධන නිධාන හැකිමුත් පාමුල නෙලන්න
කාසියකට හැකිද සබඳ අතු අත පිපි මලක් වෙන්න //
මුළු ලෝකෙට සුවඳ දෙන්න..............................

සිහිල් සිහින් දිය සීරා ඇල දොල ගංගා සීදේවි
විසල් හිමව් කඳු දියවී සිඳු රළ දොරකඩට ඒවි
වින්ද සැපය සැපයක්මද හිතෙන මොහොත ලඟා වේවි
සැකයක් නෑ අපි සේරම ඉක්මනින්ම පමා වේවි //
අපි සේරම පමා වේවි..........................................




සතක් අතුපතර සලසන හීල් සෙවනෙ වාඩිවෙන්න
වසක් විසක් නැති අහසක් යට සුවසේ හුස්ම ගන්න
පසක් වෙයි මෙතෙක් කළ පව් වනස්පතිය සමාවෙන්න
ගසක් කැපූ තැනින් ගලන ගසක කඳුළු හඳුනගන්න

සතහට සුව සලසන තුරුලතා මිහිතලයේ ජීවනාලියයි. මැක්සිම් ගෝර්කිට අනුව ලෝකය පවතින්නේ හිරු රැසින් සහ මවගේ කිරි වලිනි. හිරු රැසේ මහිමයෙන් තුරු පත් වල ඇති හරිතප්‍රද මත ආහාර නොඋපදින්නේ නම් මිහිතලයේ ජිවය පවතින්නේ නැත. පරිසරය හා මිනිසා අතර සහජීවනය මිනිස් ජීවයේ පදනමයි. මිහිඳු හිමියන් මිස්සක පව්වේ දීත්, රතු ඉන්දියානු නායක සියැටල් ඇමෙරිකාවේ දීත් කියා සිටියේ මිනිසා යනු පරිසරය වසන තවත් එක් ජීවියෙකු මිසක, එහි පාලකයා නොවන වගයි.

පරිසරයට පිරිසිදු වාතය හා සිසිලස ලැබෙන්නේ තුරුලතා වල අනුහසිනි. හුස්ම පොද ජනිත කරවන ගහකොළ වැනසුණු කළ ජීවයට පැවැත්මක් නොමැත. වාතයේ ආම්ලිකතාවය ඉහලයාම නිසා ඇතිවන අම්ල වැසි, ඕසෝන් වියන පළුදු වීමෙන් පොළොවට පතිතවන පාරජම්බුල කිරණ, කාර්මිකකරණය නිසා ඉහල ගිය වාතයේ අහිතකර සංයුතිය යනාදී අටෝරාසියක් ව්‍යධි හමුවේ මිනිසාට අහිමි වන වස විස නැති හුස්මේ අයිතිය වෙනුවෙන්, අප වෙනුවෙන් නිහඬවම සටන් කරන්නේ, සිය පරම සතුරා වූ දැව සොරාට පවා එක ලෙස සෙවන සලසන වනස්පති සමුහයයි. එවන් පරහිතකාමී තුරු ලතාවන්ගේ කඳුළු වලට නිසි පිළිගැනීමක් ලබා දීමට පවා මිනිස් ආත්මාර්ථකාමීත්වයට ඉස්පාසුවක් නැති තරම්ය.

වපුල යකඩ සිමෙන්තියෙන් දියුණුවේ අස්වනු නෙලන්න
මහල මහල ඉහළ ගිහින් තව්තිසාව ලඟට ගන්න
විපුල මහා ධන නිධාන හැකිමුත් පාමුල නෙලන්න
කාසියකට හැකිද සබඳ අතු අත පිපි මලක් වෙන්න

යකඩ හා කොන්ක්‍රීට් ව අනුහසින් අහස් කුස සිදුරු කරමින් දැවැන්ත බහුමහල් ගොඩනැගිලි ඉදිවන්නේ ගහ කොළ සමුහයක ජිවිත අයිතිය අහිමි කිරීමත් සමගම බව නොදැනී යාමට තරම් මිනිසාගේ සංවේදනය මිනිසාටම අහිමි වී ඇත.පියවරෙන් පියවර මානව දියුණුවේ ඉහලම හිණිපෙත්තට නැගගත් මිනිසා සිතූ පැතූ සම්පත් දෙන තවුතිසාවක් මිහිපිට හිමිකර ගත්තා සේ කටයුතු කරයි. එවන් මිනිසා සිය ස්වාර්ථය නිසාම සියල්ල අහිමි කර ගන්නේ තමන්ටවත් නොදැනීම බව නොදැන සිටීම මහත් අභාග්‍යයකි. මහත් වෙර විරියෙන් හඹාගොස් ලඟා කරගත් භෞතික සම්පත් තුල අධ්‍යාත්මික සැනසිල්ල නොමැති බව මිනිසා කවදා පසක් කර ගනීද?

සිහිල් සිහින් දිය සීරා ඇල දොල ගංගා සීදේවි
විසල් හිමව් කඳු දියවී සිඳු රළ දොරකඩට ඒවි
වින්ද සැපය සැපයක්මද හිතෙන මොහොත ලඟා වේවි
සැකයක් නෑ අපි සේරම ඉක්මනින්ම පමා වේවි

සිතැඟි ලෙස ගහකොළ වනසමින් මිහිමත උණුසුම ඉහල නවන දියුණුවේ අනුහසින් ඉදිරියේදී ධ්‍රැවාශ්‍රිත ග්ලාසියරයන් පවා දියවී සයුරු ජල මට්ටම ඉහල යමින් ගොඩබිම් ගිලගන්නා දවස කෙදිනක හෝ අපවෙත ලඟා වේවි. අප හිමිකරගත් පාරිභෝගිකවාදී දියුණුවේ මහිමයට, තවදුරටත් අපව රැක ගැනීමට නොහැකි බව මිනිසාට එවිට වැටහෙනු ඇත. ඒ වන විට ආපස්සට යාමට නොහැකි තරම් අප පමා වැඩි බව නම් අපට නොවැරදීම පසක් වන බවට නම් සැකයක් නැත.

 

ගොඩනැගිලි සේවා වරළත් ඉංජිනේරු සුරන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විධායක සභාවේ සාමාජිකයෙකි. ඔහු ගොඩනැගිලි සේවා ඉංජිනේරු අනුකමිටුවේ හිටපු සභාපතිවරයාය. වෘත්තියෙන් ගොඩනැගිලි සේවා අංශ ප්‍රධානි වරයෙකු හා හරිත ගොඩනැගිලි උපදේශකයෙකු වන සුරන් ප්‍රනාන්දු මහතා IESL ආයතනය මගින් පළකරනු ලබන Sri Lanka Engineering News (SLEN) සඟරාවේ සංස්කාරක වරයා ලෙස කටයුතු කරයි.




Facebook Twitter LinkedIn Email Print